ශුද්ධ වූ පිලිප් නේරි මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් මැයි 26වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ පිලිප් නේරි මුනිඳුන් ගැන කතා කරමු.

ශු පිලිප් නේරි තුමා ( 1515 – 1595 )

තරුණ පිලිප්නේරි සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කර ප්ලොරන්ස් නුවරින් රෝමයට ගොස් තම ජීවිතය දෙවියන් වහන්සේට කැප කළේය. වසර තුනක් තුල ඔහු දර්ශනවාදය හා දේව ශාස්ත්‍රය හැදෑරිය. එවකට කිසිවෙකු නොබැදුණු විශේෂ කැදවීමක් දෙවියන් වහන්සේ ඔහුට දානය කළේය. එනම් යාච්ඤාව හා අපෝස්තලික ජිවිතයට ගිහියෙකු සේ ක්‍රියා කිරීමටය. මේ කාලයේ ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාව ධාර්මික මට්ටමින් ශු. සභාව තුළ ප්‍රතිසංස්කරණය වෙමින් පැවතිණ.

පිලිප් නේරි තුමාගේ සිත් ඇද ගන්නා ස්වභාවය නිසා බොහෝ මිතුරෝ එතුමා කරා එන්නට පටන් ගත්තෝය. එතුමාගේ නිර්භීත ආත්මීය ශක්තිය නිසා කණ්ඩායමක් බොහෝ කඩිනමින් එතුමා වටා රොක් වුහ. ආරම්භයේදී මේ කණ්ඩායම රැස් වුයේ යාච්ඤා සහ සාකච්ඡා කණ්ඩායමක් වශයෙන් දිලිදුන්ට සේවය කිරීම සදහාය. පසුව එතුමා පුජකවරය ලබා ගත්තේය. බොහෝ විගසින් එතුමා කැපී පෙනෙන පාපොච්චාරණවාදියෙක් විය. එතුමාට ලැබුණු විශේෂ දීමනාවක් නම් වංචාකාර, මංමුලාවුවන්ගේ වැරදි මත බිද දැමීමය. සැමවිමට එතුමා එසේ කලේ දයාබර කමින් හා විනෝදකාමී ලෙසය. පිලිප්නේරි තුමා අන්‍යයන්ගේ සිත්වල ආත්මික සත්‍යතාවන් කා වැද්දීම සදහා භාවිතා කලේ පුදුමාකාර එහෙත් ඵලදායි ක්‍රමයන්ය. උදාහරණයක් වශයෙන් එක් මිනිසෙකු දිව්‍ය සත්ප්‍රසාදය ලැබූ විගස ඔහුගේ වැඩ කටයුතු සදහා පිටත් විය. දිනක් ඒ මනුෂ්‍යයාගේ පුදුමයට හේතු වුයේ පිලිප් නේරි තුමා විසින් දැල්වූ ඉටිපන්දම් අතැති පුජා උදවු ළමයි දෙදෙනෙකු ඔහු පාරේ යන විට ඔහු දෙපැත්තෙන් යාමට සැලැස්වීමයි. ඒ මන්ද නම් ඔහු තුළ වැඩ වසන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ගෞරවය දෙනු සදහා එසේ සැලැස්වූ බව දැන ගන්නටය.

දවල් කාලය එතුමා කැප කලේ තරුණයන් වෙනුවෙනි. ඒ ඔවුන් සදහා පන්තිද, ක්‍රීඩාද, දේවස්ථාන හතක දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවද පවත්වමින්ය. එතුමාගේ ප්‍රධාන අදහස වුයේ ඔවුන් තුල ප්‍රීතිමත්භාවය ඇති කිරීමටත්, ගැබුරු යාච්ඤාව, බැහැපත්කම, සිත් දමනය, ආත්මික දියුණුව සදහා නිතර නිතර පාපොච්චාරණය කිරීමත්ය. එතුමාගේ අනුගාමිකයින්ගෙන් සමහරු පුජකවරය ලැබූ සාමුහික ජිවිතයක් ගත කලෝය. එතුමා පිහිටෙව්වා වූ ඔරතෝරියානු නිකායේ ආරම්භය මෙයයි. ඒ නිකායේ විශේෂ ලක්ෂණයක් නම් සෑම සවසකම ප්‍රයෝජනවත් කථා සතරක්ද, ස්වභාෂාවෙන් ගීතිකා හා යාච්ඤා කිමද වෙයි.

වේදභේද කණ්ඩායමක් ලෙස මෙම ඔරතෝරියානු කණ්ඩායමට අපහාස ලෙස චෝදනා ලැබීමෙන් ඇතිවූ වේදනාත්මක කාලයෙන් පසු ශුද්ධෝත්තම පියතුමා විසින් එය ශු. සභාවේ නිකායක් ලෙස අනුමත කරන ලදී. ඒ කාලයේ සිටි උත්තමයෝ කිහිප දෙනෙක් පිලිප්නේරි තුමාගේ අවවාද සොයා ගියහ. ශු. සභාව තුල සිටි බලවන්ත බොහෝ දෙනෙකුගේ පෞද්ගලික සිත්හැරිමකටද, ශුද්ධවන්ත ජිවිතයකටද පිලිප්නේරි තුමා ඇති මහත් සහකාරයෙකු විය. එතුමාගේ ප්‍රධාන ධර්මගුණය නම් බැහැපත්කම සහ ප්‍රීතිමත් භාවයයි.

ශාන්ත පිලිප් නෙරි යනු ප්‍රීතිය, සිනහව, මිත්‍රත්වය සහ රෝමයේ අනුශාසක සාන්තුවරයාය. ඔහු විකට නළු නිළියන්ගේ සහ කලාකරුවන්ගේ අනුශාසක සාන්තුවරයා ද වේ. ඊට අමතරව, ඔහු එක්සත් ජනපද හමුදා විශේෂ බලකායේ අනුශාසක සාන්තුවරයෙකු ලෙස සැලකේ.

එතුමාගේ මංගල්‍යය මැයි මස 26 වන දිනදී පවත්වනු ලැබේ.

#StPhilipNeri #Prayforus
#Saintoftheday #RVASinhala 

'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!